Beauty and the beast (සොදුරිය සහ මෘගයා)


__________________________________

සිහිනයක කටහඩ 6 වෙනි කොටස

________________________________

මම එයාට කොයිතරම් ආදරේද කියන ප්‍රශ්නෙට මට එදා උත්තර තිබුනේ නෑ.. තාමත් මට උත්තරයක් නෑ.. උත්තරයක් හොයන්න මහන්සි වෙන්න ඕනිත් නෑ තවත්.. මොකද දන්නවද..? එයා නෙතූ මගේ ලඟ නෑ දැන්.. එයා ගියා මාව අතඇරලා.. දැන් එයා හිතාගන්වත් බැරි තරම් දුර..

මතක තියාගන්න අපිට පාරවල් දෙකක එකපාර යන්න බෑ.. යන්න හැදුවොත් වෙන්නේ එකකවත් යාගන්න බැරි වෙන එක..

හ්ම්… නෙතූ මට නැතිවුනා..
නෑ මම එයාව නැතිකරගත්තා…

ඒක උනේ කෝමද කියලා මම කියන්නම්…

* * * * * * * * * * * * * * * * * * * * * * * * *

ඒ තරම් කාලයක් සමනලීගේ වෙලා තිබුනු හිතට නෙතූ කොහෙන්දෝ ඇවිත් ඉඩක් මවාගත්තා.. ඒක වුනේ කොහොමද..? අවකාශයක් මවන්න… මම දන්නෑ.. මට කියන්න තේරෙන්නෑ..ඒක අත්විඳින්නම ඕනි.. නැතුව බෑ තේරුම ගන්න..

හිතන්න තමන් තව කෙනෙක්ගේ ආදරෙන් ඉන්නවා.. ඒ අස්සෙම තමන්ගේ හිත හිරිවැටිලා ගන විදිහේ කෙල්ලෙක් ඇවිත් තමන්ගෙන් ආදරේ ඉල්ලනවා.. මොකක් වේවිද..? ඒක අස්සේ තීරණයක් ගන්න බැරි උනොත් අපි හොදටම අසරණ වෙනවා,අතරමං වෙනවා  මටත් වුනේ එකයි.. මට නෙතුව ප්‍රතික්ෂේප කරන්න පුලවන් කමක් තිබුනේ නෑ.. එයාගේ පනුම.. එයාගේ හැසිරීම හැම එකක්ම හිත ඇදිලා යන විදිහටයි තිබුනේ.. ඉතිං එයාට ඉඩක් දෙන්න මට සිද්ධ වුනා..

ඒත මම දෙන්නෙක්ට ආදරේ කරන්න පටන් ඇරන් තිබුනා.. සමනලීට තිබුන ආදරේ එහෙමම තියෙද්දී මම නෙතුටත් ආදරේ කරන්න පටන් ඇරන්…. මම නෙතූට පහදලා දුන්නා මම තව කෙනෙක්ට ආදරේ බව.. ඒත් එයාට කොහොමින් හරි මගේ හිතේ ඉඩ ඕනි උනා.. එයා කොහොම හරි ඒ ඉඩ හොයාගත්තා.. ඒත් සමනලීව සම්පූර්ණයෙන් මගේ හිතෙන් අතුගාලා දාන්න එයාටවත් මටවත් බැරිඋනා.. නෙතුගේ උණුහුම විඳින අස්සෙම මම තාමත් සමනලීට හිතින් ආදරේ කලා..

ඒක මාරයි.. මම දෙන්නෙක්ට ආදරේ කලා.. ඒ අයගෙන් එක්කෙනෙක් මට ආදරේ කලා අනික් කෙනා මට ආදරේද….? මම දැනන් හිටියේ නෑ..

මේ ද්විත්ව ප්‍රේමය ගැන නෙතු මුල ඉඳලම දැනන් හිටියා..

ඒත්
අනේ මන්දා..

එයා ඒක දරාගෙන මාත් එක්ක හිටියා.. ඒ කොහොමද කියලා මම දන්නෑ.. එයා ඒ තරමට මට ආදරේ කලා..

ජීවිතේ සුපුරුදු විදිහට ගෙවුනා.. නෙතුයි මමයි ප්‍රේමවන්තයෝ වෙලා  මාස ගානක් ගතවුනා… ඒ අස්සෙම මම සමනලීටත් හිතේ ඉඩක් වෙන් කරලා තිබ්බා.. ඒක මාරම හැඟිමක් ප්‍රේමයක්.. මම හිත පුරාවට ඒ දෙන්නටම ආදරේ කලා.. එක්කෙනෙක් මගේ ලඟින්ම.. අනික් එක්කෙනා ගොඩක් දුර..

ඇත්ත මම කලේ නරක වැඩක්.. මම මහ බල්ලෙක්..  නරුමයෙක්..ඕන දෙයක් කියන්න දෙන්නෙක්ට එකපාර ආදරේ කරන එක වැරදියි තමයි.. ඒත් මම මගේ ආදරේට අවංක වුනා.. නෙතු දැනගෙන හිටියා මම සමනලීට තාමත් ආදරෙයි කියලා… සමනලිත් දැනන් හිටියා නෙතුයි මමයි ප්‍රේමවන්තයෝ කියලා… රහසක් හැටියට තිබුනේ මම සමනලීටත් ආදරෙයි කියලා සමනලි නොදැන හිටපු එක විතරයි.. ඒක සංකීර්ණයි…

කෙල්ලෝ කොල්ලෝ කියලා වෙනසක් නෑ.. ආදරේදී අපි ආත්මාර්ථකාමි..අපේ ආදරේ අපේම විතරයි.. මගේ ආදරේ මගේම විතරයි.. එහෙම තමයි හැමෝම හිතන්නේ.. කොයිකෙල්ලවත් කැමති නෑ කමන්ගේ කොල්ලා වෙන කෙල්ලෙක්ට ආදරේ කරනවට. ඒකේ සිමාව පුද්ගලානුරූපව සාපේක්ෂයි.. නෙතුගේ ඒ සීමාව තිබුනේ ගොඩක් ඈතින් මං හිතන්නේ.. නැත්තම් මං එයාගේ ඇස් ඉසිරිපිටදිම තවත් කෙනෙක්ටත් මම ආදරෙයි කියලා කියද්දිම මාත් එක්ක ඉන්න විදිහක් නෑ.. එයා ඒ තරමටම මට ආදරේ කලා.. මම ඒ ආදරේ ඇතුලේ තමන් ගැන විතරක් හිතන සතෙක් වුනා.. මම වෙන කෙනෙක්ට ආදරේ කිරීම නිසා නෙතූ දුක් වෙන බව මට තේරුනේ නෑ.. මම මහ මෝඩයෙක් නේද..? ඇත්ත ඒ මෝඩකම් ගැන මම අදටත් පසුතැවෙනවා.. ඇත්ත මම උපරිමයෙන්ම වැරදියි.. මම ඒක පිලිගන්නවා.. ඒ ගැන නිදහසට කාරනා නෑ..

මම වෙනුවෙන් පණ උනත් දෙන  තමන්ගේ හිතටත් දැනෙන කෙල්ලෙක් තමන් ලඟ ඉඳිද්දිම තමන්ට ආදරෙයිට කියලාවත් දන් නැති කෙල්ලෙක් පස්සේ යන එක.. ඒක ලොකු මෝඩකමක්..
හැමදේකටම සීමාවක් තියෙනවා.. බැලුමක් පුම්බන්න පුලුවන් එක්තරා සීමාවක් දක්වා විතරයි.. ඒක ඉක්මවා ගියාට පස්සේ තව දුරටත් ඒක බැලුමක් නෙවෙයි.. මේකත් එහෙමයි.. නෙතු බලන් හිටියා.. කවදා හරි මම එයාගෙම වේවි කියලා.. එත් මම කොහෙද ඒක තේරුම් ගත්තේ මම සුපුරුදු විදිහටම දෙන්නටම ආදරේ කරමින් උන්නා..

ඒත් එක්තරා දවසක ඒ සීමාව ඉක්මවා  යාමේ ලකුණු පහල වුනා..

“ඔයා මට ආදරේද..?”

ආදරේදී ගෑනු ළමයා වැඩියෙන්ම අහන ප්‍රශ්නේ ඕක වෙන්න ඇති.. කොල්ලෙක් විදිහට මම කියන්නේ තමන් ආදරේනම් ඒක ඒ කෙල්ල අහන අහන වැරයක් ගානේ කියන එක වදයක් කියලා හිතන්න එපා.. මොකද ගෑණු ඝමයි හර ආසයි මං ඔයාට ආදරෙයි කියලා තමන්ගේ කොල්ලා කියනවා අහන්න

“ඔව් .. ගොඩා….ක්”

“එතකොට සමනලීට.. එයාටත් තාම ආදරේද..?”

“හ්ම්…………”

“කාටද වැඩියෙම ආදරේ….?”

“මම දන්නෑ.. දෙන්නටම එක වගේ”

“සමනලී ඔයාට ආදරේද…?”

“මම දන්නෑ…”

“එතකොට මම.. මම ඔයාට ආදරේද…?”

“ඔව්නේ.. එයා මට ආදරෙයි…”

“මම ආදරේ ඔයාට විතරයි කියලා දන්නවද..?”

ම්ම්.. මම දන්න තරමින් මෙයා ආදරේ මට විතරයි.. මම නොදන්න තරමින් කියලා දෙයක් නෙතූ සම්බන්දව මට ඇති කියලා මම හිතන්නේ නෑ.. ඒ නිසා ඇත්ත නෙතූ ආදරේ මට විතරයි තමා..

“හ්ම්.. ඒක මම දන්නවා කෙල්ලේ..”

“ඉතිං එහෙනම් ඇයි මට ටිකක් වැටියෙන් ආදරේ කරන්න බැරි එයාට වඩා… මම ඔයාට ආදරේ කරන නිසාවත්…”

“මම දන්නෑ.. මට බෑ..”

“ඇයි දන්නෑ කියන්නේ.. ඔයාට පුලුවන්ද මම තවත් කෙනෙක්ට ආදරේ කරනවා බලාගෙන ඉන්න”

“ඉතිං ඔයා එහෙම නෑනේ….”

“මම එහෙම කලොත් ඔයාට දරාගන්න පුලුවන්ද..?”

ඇත්තටම මට දරාගන්න පුලුවන්ද..? මම කල්පනා කලා.. ඇස්දෙක පියාගෙන හිතින් මවා ගත්තා නෙතු වෙන කොල්ලෙක් එකක් යනවා.. ඒ කොල්ලා නෙතුව ඉඹිනවා.. නලල.. කම්මුල්.. තොල් දෙක… මම ඇස් ඇරියා.. මට ඒක දරාගන්න බෑ තමයි..  මම හරි ආත්මාර්ථකාමි නේද..? මම දෙන්නෙක්ට ආදරේ කරමින් ඉන්නවා.. ඒත් මගේ කෙල්ල වෙන කෙනෙක්ගේ වෙනවටත් මම කැමති නෑ..

“මට බෑ..”

“ඉතිං එහෙනම් කොහොමද මට පුලුවන් වෙන්නේ.. මම මේතරම් කල් බලන් හිටියේ ඔයා ඒක තේරුම් ගනීවි කියලා.. මම ඔයාට කියන්න බැරිතරම් ආදරේ නිසා.. එයා මටත් ඒ වගේ ආදරේ කරන්නේ කවදද..?”

“ මම දන්නෑ නෙතු.. මට තේරෙන්නෑ.. මම දන්නේ එකම දෙයයි.. මම ඔය දෙන්නටම ආදරෙයි..”

“හැමදාමත් කියන්නේ ඕකනේ .. එයා හරි  ආත්මාර්ථකාමියි”

“හ්ම්ම්.. ඇත්ත..”

“ මම පුංචි කාලේ ඉඳන්ම ඔයාගේ ඔය හිතුවක්කාරකම් වලට දඟකාරකම් වලට ආස වුනා.. යමක් කමක් දැනෙන ‍තේරෙන වයසට ආපුවමයි මට තේරුනේ ඒක නිකම්මආසාවක් නෙවෙයි ආද‍රයක් කියලා.. එදා ඉඳන් මම ආදරේ කලේ ඔයාට විතරයි අවුරුදු ගානක්.. ඒත් මම හැමදාමත් මේක දරාගන්නේ කොහොමද අයියේ.. සමනලී කවදා හරි ඔයාට ආදරෙයි කිව්වොත් ඔයා මොනාද කරන්නේ.. මට මොනාද වෙන්නේ මාව දාලා යනවද..?.. මමයි ඔයාට මැරීගෙන  ආදරේ කරන කෙනා සමනලී නෙවෙයි.. ඇයි ඉතිං ඔයා මට  සමනලීට වඩා වැඩි වටිනාකමක් ඔයාගේ ‍හිතේ දෙන්නේ නැත්තේ.. ?”

“ මම දන්නෑ නෙතූ.. මේ කතාව නවත්තමු”

“මට බෑ.. මට ඔයාව ඕනිවුනේ කාගෙත් එක්කවත් බෙදාගන්න නෙවේ.. මුලු ඔයාවම මගේ කරගන්න.. හරි  මට මේක කියන්න ඔයා බඳින්නේ අපි දෙන්නගෙන් කාවද..?”

මම මොනා කියන්නද..? මට උත්තරයක් නෑ..

“ ඔයාගේ කට ඕනි වෙලාවට වැහිලා අයියේ.. මම ඔයාට ආදරේ තමයි.. ඒත ඒ ආදරේට ඔයා දෙන වටිනාකම ඕක නම් මම තවත් ඉන්නෑ ඔයත් එක්ක. ඔයාට මාව ඕනි නම් ආදරේ කරන්න මට විතරක්.. නැත්තම් මම කොයිතරම් අමාරුවෙන් හරි එයාව දාලා යනවාමයි.. එක හිතක් නැති කෙනෙක් ලඟ නතර වෙලා දුක් විඳින්න මට බෑ”

මතක තියාගන්න අපිට තීරණ ගන්න අවස්ථාවල් එනවා.. ඒ වගේ අවස්ථාවක බය නැතුව තීරණ ගන්න.. එක දෙයක් වෙනුවෙන් තව දෙයක් කැපකරන්න වෙනවා.. තමන්ට වඩා වටින් දේ ඉතුරු කරන් අනික් එක පරිත්‍යාග කරන්න.. කවදාවත් වැට උඩ වැනි වැනී ඉන්න එපා.. ඒකෙන් වෙන්නේ දෙපැත්තම නැතිවෙන එකයි…. ඒත් මට මේ වෙලාවෙත් දෙන්නම් ඕනි වුනා.. ඒකයි අවුල..

ඇත්ටම නෙතූ මේ තරම්වත් ඉවසුව එක ඇති.. කෙල්ලෙක් විදිහට නෙතූ මට කොයීතරම් ආදරේ කලාද කියන එක එයා ඒ තරම් ඉවසුව එකෙන්ම දැන් මට තේරෙනවා.. මම තවත් කෙල්ලෙක්ටක් මගේ හිතේ ඉඩ එයාට පෙනි පෙනීම වෙන් කරද්දිත් එයා මගේ ලඟට වෙලා බලාගෙන හිටියා.. ඒක පුදුමාකාර ආදරෙයක්..ඒක  මට ඉස්සර තේරුනා නම්…?

ඒත් ඒ ආදරේ ටිකින් ටික කඩා වැටෙන්න ගත්තා.. අයියා කියලා ආදරෙන් කතා කරපු කෙල්ල අන්තිමේ මට තමුසේ කියලා කතා කරන්න තරම් නපුරු වුනා.. මමයි එයාව ඒ තත්වෙට ගෙනාවේ.. ඒක වුනේ මෙහෙමයි.. දවසින් දවස..

පලවෙනි දවසේ
“තමුසෙට ප්‍රතිපත්තියක් නෑ”

දෙවනි දවසේ
“තමුසේ මහා ආත්මාර්ථකාමියෙක්”

තුන්වෙනි දවසේ
“ තමුසේ ආත්මයක් නැති මිනිසෙක්”

හතරවෙනි දවසේ
“මම තවත් තමුසේ වගේ  එකෙක් එක්ක ඉන්නේ නෑ..”

පස්වෙනි දවසක් තිබුනේ නැ.. එයා ගියා.. මම මොකුත් කිව්වේ නෑ.. මම එයාව නවත්තන්න් ඕනි උනා.. ඒත් කොහොමද..? එක දෙයයි කරන්න තිබ්බේ..සමනලිව අතාරින එක.. ඒත මම ඒකට මම ලෝබ වුනා… මට දෙන්නම් ඕනි.. එක්කෙනෙක් වෙනුවෙන් එක්කෙනෙක් දෙන්න බෑ..

කමක් නෑ මට සමනලී ඉන්නවනේ එයා ගියාට පස්සේ මම හිතුවේ එහෙමයි… ඇත්තටම කිව්වොත් මට දෙන්නම එකවගේ කියලා නෙතූට කිව්වට, මම නෙතුට වඩා ටිකක් හරි වැඩියෙන් සමනලීට ආදරේ කරන්න ඇති කියලා මට හිතෙනවා..  ඒකයි මට නෙතූ  අර තරම් කියද්දිත් සමනලීට අතාරින්න බැරිවුනේ.. වැරදිලා හරි නෙතු වෙනුවට සමනලී හිටයනම්.. එහෙනම් මම එයාව අතාරීවි.. ම්ම්.. කමක් නෑ මට සමනලී ඉන්නවනේ.. ඒත් එයා මට ආදරේද..? මගේ හිත දුන්න උත්තරේ ඔව්.. නිර්ප්‍රකාශිත ප්‍රේමයක පැටලුන හැම කොල්ලෙක්ගේම ෆැන්ටසිය ඒක තමයි.. ඒ කෙල්ල තමන්ට ආදරේ නෑ කියලා හැම වෙලේම ඒ කෙල්ලගේ හැසිරීමෙන් තේරුම් ගියත් ඒ හිනේ නැති කරගන්නේ නෑ.. ඒ කෙල්ල ලෝකෙටම හොරෙන් තමන්ට හිතින් ආදරේ කරනවා ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා.. මමත් ඒ පොදු සත්‍යයෙන් බැහැර උන ජීවියෙක් නෙවේ.. ඉතිං මමත් සමනලී මට ආදරේ කරනවා ඇති කියන හීනේ ඇතුලේ මම ජීවත් වුනා…

සමනලී… ඔයා මට ආදරේද….???

13 thoughts on “Beauty and the beast (සොදුරිය සහ මෘගයා)

  1. ආදරෙයේදී අපි කවුරුත් ලෝබයි ආත්මාර්ථකාමියි …….ආදරෙදියි යුද්දෙදියි කරන හෙමදේම සාදාරනයි කියල කියනවනේ …….මොනවා උනත තමන්ට තේරෙනවනන් කෙල්ලෙක් තමන් මොනවා කලත් එකවගේම ආදරෙන් ඉන්නවා කියල ඒ කෙල්ලව කවදාවත් නැතිකරගන්න එපා. ඒවගේ කෙල්ලෙක් ජීවිතේට අයෙත් එන්නේ නෑ .

  2. මම දන්න තරමින් නම් ඇත්තට ආදරේ කියලා මගුලක් නෑ කොලුවෝ.. ආත්මාර්තකාමයට පුයර ගාලා වහපු මහා බොරුවක් ඕක.. ඒ නිසා ඕක මොන පැත්තට කරකවගත්තත් එකයි ඕක…

  3. මම දන්න තරමින් නම් ඇත්තට ආදරේ කියලා මගුලක් නෑ කොලුවෝ.. ආත්මාර්තකාමයට පුයර ගාලා වහපු මහා බොරුවක් ඕක.. ඒ නිසා ඕක මොන පැත්තට කරකවගත්තත් එකයි ඕක…

Thimira Rekha Perera වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න